Wednesday, November 13, 2013

ඉල්ලන් කෑම



අද අපේ ගෙදර කස්ටිය දැන් ටික වෙලාවකට කලින් ඔන්න ස්කයිප් ආව. මාත් ඉතින් කථා කරන්න කියල සෙට් වෙනකොට මෙන්න අපේ උන්දැ පිගානක් අතේ අරන් පොඩි එකා පස්සෙන් දුවනව. රෑට කවන්න. ඉතින් මොන ස්කයිප් ද මමත් සුසන්තිකා උසේන් බෝල්ට් පස්සෙ පන්නන සීන් එක ලයිව් බලාගෙන හිටිය ටික වෙලාවක්. මේක මේ අද දැක්කට මටනම් එච්චර නොපුරුදු සීන් එකක් නෙවෙයි. දැන් අවුරුදු 7-8ක ඉදන් අපේ ගෙදර තත්ත්වය ඕකයි. අපේ ගෙදර කන බොන වේලාව මාතර දිස්ත්‍රික්කෙම උන් දන්නව අපි කන දේවලූත් එක්කම. ඇයි අපේ උන්දැ රටටම ඇහෙන්න කෑ ගහගහ නෙව කොල්ල පස්සෙ පන්නන්නෙ.

හැබැයි ඉතින් පුදුමෙ කියන්නෙ මේක අපේ ගෙදරට අවේනික වෙච්චි සිද්ධියකුත් නොවෙයි. මම දන්න කියන පොඩි උන් ඉන්න හැමතැනම තත්ත්වෙ ඕකයි. මුන් එකෙක්වත් අනේ අපිට කන්න දීපියෝ කියල කෑමක් කන්නෙම නැහැනෙ. අඩුම ගානේ පැය දෙකක් විතර පස්සෙන් ඇවිදල, කථා කියල, පාරෙයන මාමල පෙන්නල බය කරල, ඩීවීඩී එකක් හරි ටීඩී එකේ යන කාටූන් එකක් පෙන්න පෙන්න හරි මෙකි නොකී දහසකුත් දේවල් කරල පොඩි උන්ව මෝහනය කරල තමයි හැම ගෙදරම මුන්ට බත් ටිකක් කවා ගන්නෙ.

ඇත්තටම මොකක්ද මේ කරුමෙට හේතුව. හේතුව හොයන්න කලින් අපි පොඩ්ඩක් අවුරුදු 20-30 ආපස්සට ගිහින් බලමු.

ඔන්න එහෙනං ඇස් වහගන්න එකායි දෙකයි දෙකා හමාරයි, තුනායි.
හරි දැන් ඇස් අරින්න........
හරි ඔන්න අපි දැන් ඉන්නෙ 1980 ගනන්වල හරිය.

ෂුවර් නැත්තං ජාතික රූපවාහිනිය ආල බලන්න. ජෙ. ආර් උන්නැහේගෙ ගුණගායනාවක් යනව ඇති. එහෙමත් නැත්තං ප්‍රේමයිය මල්වට්ටියක් අරං පන්සල් යනව පෙන්නයි.

හරි ඒවයින් වැඩක් නැහැ ආයිත් බහිමු කථාවට.

ඔන්න ඉතින් උදේම නැගිටින කොට අම්ම තේ එක බොන්න කියල කෑ ගහනව. ඒ කාලෙ අපේ ගෙදර හරක් දෙන්නෙක් හිටිය. (ඕන්න ඉතින් මටත් කලින් වැරදියට හිතුව නෙ. ඒ දෙන්න ගැන නෙවී කියන්නෙ) මේ ඇත්තම ඇත්ත හරක්. අපේ සීය හැදුවෙ. ඒ හින්ද අපේ ගෙදර ගොඩක් වෙලාවට එළ කිරි වැරදුනේම නැහැ. අපේ ගෙදර කස්ටියම හොද එළකිරි පොරවල් මම ඇරෙන්න. ඒ හින්ද මම ගොඩක් වෙලාවට ඇරල දැම්මෙ ඩී සී ඩී අඩංගු රෝසි සේනානායක නොනගේ කිරි තමා. අපේ මලයටනං පොඩි කාලේ දුන්නෙ ලැක්ටෝජන් කියන ජාතිය (ඕකට අපේ ආච්චි කිව්වෙ ලැට්හෝදන් කියල).

ඊට පස්සෙ උදේ ආහාර වේල. ගොඩක් දවසට ගෙදර බතක් ඉදුනත් ඒ තාත්තට දවල් කෑම ගෙනියන්න ඕනි හන්ද. මොකද මම මෙහෙම කිව්වෙ මේ කාලෙ වෙනතොට අපේ උදේ ආහාර වේල පාන් වලින් ආක්‍රමනය කරලයි තිබුනෙ. පානුයි පරිප්පුයි - පරිප්පුයි පානුයි එක්ක පොල්සම්බෝලයක් වගේ දෙයක් තමා ආච්චිගේ බ්‍රෙක්ෆස්ට් මෙනූ එකේ තිබුනෙ. සමහර දවස්වලට ආච්චි ඉස්සෙල්ල දවසෙ ඉතිරිවුන බත් වලින් දිය බතන් හදනව. මම නං ඒක දිහා බලපු බවක්වත් මට මතක නැහැ. හැම මාසෙම පළවෙනිදට ගෙදර කිරිබතක් වැරදුනේ නැහැ. ඊටත් අමතරව උපන්දිනයක් දවසක හරි වෙන විශේෂ දවසක හරි ඒ දේ ඒ විදියටම සිද්ධවුනා. ඒ ඇරෙන්න වෙන විශේෂ කෑමක් කියල උදේක හැදුනනං ඒ ආප්ප විතරයි. මාසෙට අවසක් විතර වත්තෙන් ගලව ගත්ත අල ජාතියක් තම්බන්නත් ආච්චිගෙ පුරුද්දක් තිබුන.

උදේ කෑමෙන් පස්සෙ දවල්ට කනකන් කියල විශේෂදෙයකට ලැබුනෙ ඉස්කෝලෙන් ලැබුන දිවා ආහාර බිස්කට් ටික තමයි. ඊට අමතරව පාසල් වත්තෙ පොලූ පහරකින් නෙලා ගත්ත අඹ ගැටයක්, දං ගෙඩියක්, බෝවිටිය ටිකක් අපේ බඩට නොගිය දවසක් නැහැ. ගෙදර ඉන්න දවසක නම් පේර ගෙඩියක් වගේ ගෙදර හැදෙන පළතුරක් තමා අමතර ආහාරයක් වුනේ.

දවල් කෑම නං ඉතින් බත් ම තමා. බත් එක්ක ඔය මොනව හරි එළවලූවක් දෙකක් සහ මාතර උපන් වාසනාව නිසා මාලූ හොද්දක් හරි ඇඹුල් තියල් හරි වැරදුනේ ම නැහැ. අපි ඒ කාලෙ ඉස්කෝලෙ ඉදන් ගෙදර එන්නෙ, යක්කු වගේ. පොත් බෑග් එක කොහෙට හරි වීසිකරන ගමන් කෙලින්ම කෑම කාමරේ තමා. බත් ටිකක් ඇදල දාල තමයි අනිත් හැම දෙයක් ගැනම හිතන්නෙ. ඇත්තටම ඒ වෙනකොට තිබුනෙ පුදුම බඩගින්නක්.

ඉතින් ඊට පස්සෙ රෑට කනකන් කියල විශේෂ කෑමක් අපිට තිබුනෙ නැහැ. විශේෂ දවසක ගෙදර හදන කැවිල්ලක් පෙවිල්ලක් හැරුණු කොට හවසට ලැබුනෙ හසරැල් මිඩ් වයිෆ්ට පෙන්නල ගත්ත ත්‍රිපෝෂ තමයි. කියනකොටත් මතක් කරන කොටත් කටට කෙල උනනව. ත්‍රිපෝෂනං තාමත් ඒ රහම තමයි. ඒ ඇරුණම ආච්චි හදන අග්ගලාවක් වගේ දෙයක් ඉද හිට බඩට බොග් ගාල වැටුන.

රෑට අපේ ගෙදර මේන් කෝස් එක වුනේ ගොඩක් දවසට බත් තමා. ඒ ඇරුණම පිට්ටු, ආප්ප වගේ දෙයක් හරි ඉද හිට අම්මටයි ආච්චිටයි කම්මැලි වුනු දවසට පානුයි තමයි රාත්‍රී ආහාර ය වුනේ.

දැන් කස්ටිය මේව කියවල කෙල ගිලිනව හෙම නෙවෙයි. මම මේ කරුණු කාරණා ටික දෙසා බෑවෙ ඒකාලෙ පොඩි උන් වෙච්චි අපේ දෛනික ආහාර ප්‍රතිපත්තිය ගැන පොඩි අවබෝධයක් බලා දෙන්න හිතුන හින්දයි.

ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ඉද හිට කෑමෙන් පස්සෙ ගස් ලබු කෑල්ලක් (ඒකත් ගෙදර ගහක හැදුනු) ලැබුනු දවස් තිබුන. ඊට අමතරව අදටත් මගේ ප්‍රියතම කෑම වෙච්චි මුදවපු කිරි තමා ප්‍රධානම ඩෙසට් එක වුනේ. ඒතකොට අයිස් ක්‍රීම් - අනේ කියන්න සන්තෝසයි ඒ කාලෙ අයිස්ක්‍රීම් එකක් කන්නනම් මාතරම යන්න ඕනි. ඒ කාලෙ අපේ මාතර ගමනක විශේෂ ම අංගයක් වුනේ මාතර එස් කේ එකට ගිහිල්ල අයිස්ක්‍රිම් එකක් කන එක. ඒ කාලෙ අයිස්ක්‍රීම් ඒ තරමට ම විරලයි.

එතකොට කේක් - ඇත්තටම ඒ කාලෙ කේක් දකින්නනම් අලූත් අවුරුදු කාලෙ වෙනකන් ඉන්න ඕනෙ. ඒකත් බොහොම වෙලාවකට ගමේ බේකරියෙ හදපු පාන්වලට වඩා පොඩ්ඩක් වෙනස් කේක් තමා. අවුරුද්දට වුනත් ගෙදරට එන කේක් රට වටේ යනව මිසක් බඩට යන්නෙ බොහොම හදිස්සියෙන් නෙ. මතක හිටින රසකට කාපු කේක් නම් ඉතින් කලූනික වගේ වුනු ලිට්ල් ලයන් අයිසින් රෝල් තමා. ඒකත් අවුරුද්දකට දෙපාරක් විතර මන් හිතන්නෙ.

එතකොට ඒ කාලෙ ළමයි ටොෆි චොකලට් කාලම නැද්ද? ඇයි නැත්තෙ අපි කෑව සත පනහට ගොට්ටක් ලැඛෙන කඩි බිත්තර, තව  එතකොට සත විසිපහේ ලොසින්ජර, ඇයි තාමත් හක්කෙ ඇලිල තියෙන බුල්ටො. ඒව තමා ඒකාලෙ අපේ ප්‍රියතම ආහාර වුනේ. ඇයි චොකලට් - අනේද කියන්නෙ රට ඉදල කවුරුහරි ආවොත් තමා චොකලට් හරි කොහෙල් ගෙඩිය මාක් කහපාට කොලේ චූයින්ගම් එකක් හරි ලැබුනෙ. ඔන්න කොලොම්පුරේ ඉන්න කවුරුහරි ගමේ එනකොටනං එඩ්නා හරි කැන්ඩෝස් හරි චොකලට් එකක් කන්න වාසනාව උදා වුනා. යෝගට් වගේ දෙයක් කාපු දිනයක් හරි විදියක් හරිනං මගේ මතකෙට එන්නෙම නැහැ. ඉස්කොලෙට එන අයිස්ක්‍රීම් බයිසිකලේ සැකරින් සුවදනං තාමත් මගේ නාස් පුඩු වල රැදිල තියෙනව.

එතකොට අන්කල් ඒ කාලෙ  ෂෝට් ඊට්ස්, පීසා, කේඒෆ්සී වගේ දේවල් කාලම නැද්ද? දැන් කාලෙ කොල්ලෙක් කෙල්ලෙක් එහෙම පුරස්නයක් අහන්න ඉඩ තියෙනව. ඇයි බොල නැත්තෙ.

අපි කෑව සීනි කුරුල්ලො (දැන් කියන්නෙ කිඹුල බනිස්) එතනින් ගියාම බනිස්, ගල් බනිස්, බිස්කට් නම් සව් බොරව, සීනි බිස්කට්, බටර් විස්කෝතු වගේ දේවල්. ඒ කාලෙ පීසා හට්, කේඑෆ්සී එකෙන් කාල තියෙනව ඇමරිකාවෙ කොල්ලො - අපි නෙවයි.

හරි දැන් ඔය මැදෑ. මම මේ කටට කෙල උනන විස්තර ටික කිව්වෙ ඒ කාලෙ පොඩි උන් වෙච්චි අපේ දෛනික ආහාර සහ ආහාර පුරුදු ගැන පොඩි දැනුම්වත් කිරීමක් කරන්න ඕන හින්දයි.

ඒහෙනම් දැන් ආයිත් යමු වර්තමානෙට.
එකයි දෙනායි තුනායි හරි දැන් ඇස් අරින්න.
බලන්න අයි ටී එන් එක දාල චැනල් ෆෝ එකේ එකාගේ දෙමව්පියන්ගෙ ගුණ කියවනවද කියල. එහෙනං ඔන්න වර්තමානෙට ආව.

දැන් බලමු අපේ පොඩි එවුන්නෙ දුප්පත් කෑම වේල ගැන.

උදේම වෙ ප්‍රෝටීන් සහිත (නතාන් මැකලම් ගෙ රටේ - ඊයෙ දුන්නෙ හේරත්ට බීපු කිරි මතක් වෙන්න) කිරි.

ඉන් පස්සෙ උදේට බත්, පාන්, ෂෝට් ඊට්ස් හරි කිරි සමග කෝන් ප්ලාස්ක්

දහයට විතර යෝගට් එකක් හරි බිස්කට් සමග බීමට යමක්

දිවා ආහාරය - බෝහෝ විට බත්, සොසේජස් බිත්තර මාලූ අල පෙති බැදුම හෝ අම්මට උයන්න කම්මැලිනම් කඩෙන් ගෙනාපු චීනාගෙ ෆයිඩ් රයිස් ඩෙසට් එකට ඇට නැති මිදි ඇපල් හරි ගස්ලබු වගේ දෙයක් හෝ අයිස් ක්‍රීම් කැරමල් පුඩිමක්

සවස - ෂොට් ඊට්ස් සමග කිරි තේ

රෑට - බත් නැත්තං පාන්, හදිසියෙන් ඉදිආප්ප, රොටී හෝ එළියට යමු ඩාලින් නිෂ්පාදන කොත්තු රොටී, පරාටා, චයිනීස් නිෂ්පාදන රයිඩ් ෆයිස්, පීසා වැනි දෙයක්

නින්දට පෙර - තේ එකක් කෝපි එකක්.

ඉන් අරුණම - වර්ග දහසකට අධික ටොෆි චොකලට් වර්ග අයිස් ක්‍රීම් වර්ග කේක් වර්ග සහ නොයෙකුත් වෛවාරණ ඩෙසට් වර්ග

මේ විදියට බැලූවම වර්තමානය වෙනකොට අපේ ගෙවල්වල පොඩි උන්ට දවසට කෑම වේල 5-6 විතර වැටෙනවනෙ.

ඉතින් යකුනේ මේ විදියට කෑම දෙන්න ගියාම දැන් කාලෙ උන්ට බඩගින්නක් හැදෙන්නෙ නැහැ කියන එක අහන්නත් දෙයක්ද. ඒ හින්ද පොලූ අරන් උන් පස්සෙ දුවන්නෙ නැතිව පොඩි පරතරයක් තියාගෙන උන්ට කෑම බීම දෙනවනං හරිනෙ. එක දවසක් අත්හ දා බලන්න. කෑම වේල් තුන විතරක් නියම පරතරයක් ඇතිව දීල. පොඩි උන් ටික යක්කු වගේ පස්සෙන් එන්නෙ නැද්ද කියල කෑම ඉල්ලගෙන. අපි ඒ කාලෙ කලා වගේ.

මගේ මේ වෛද්‍ය උපදෙස් ඔබ තුමන්ලාවත් අත්හදා බලා හරි ගියොත් මට පොඩි කොමෙනට් පාරක් හරි දාල කියන්න.

මොකද මේව අත්හදා බලන්න අපේ උන්දැට කියන්න ගියොත් වෙන්නෙ මට දැනට ලැඛෙන පින්ඩපාතෙ ටිකත් නැති වෙලා යන එක විතරයි.



පසුවදන - ම විසින් මෙහි සදහන් ආහාර පුදුරු මධ්‍යම පාන්තිකයෙක් ලෙස උපන් මාගේ හා වත්මන් මධ්‍යම පාන්තික ආහාර පුරුදුයයි මා සිතනා ඒවා බව සදහන් කරනු කැමැත්තෙමි. අදටත් කුසට ආහාරයක් නොමැති දරුවන් අසීමිත ලෙස අපේ පොලවේ ජීවත් වන බවත් - මා දැනට ජීවත් වන රටේ එක රොටිය තුනට කඩා ගෙන තුන් වේල කන දරුවන් මට මුන ගැසී ඇති බවත් සදහන් කරනු කැමැත්තෙමි.

මෙම ලිපිය අද දින තම දිවියේ හතලිස් වැනි කණුව පසුකරන අපේ අක්කාට නොහොත් වාසනා ඇන්ටීට පුද කරමි.





34 comments:

  1. නතර වේවි මාත් අතීතය මතක් කර කර කියෙවුවා ,, ඔයා කියපු දේවල් හරි හසරැල්ලගේ අයියේ දිගටම ලියන්න

    ReplyDelete
  2. Me tika kiyewwama mage badginna wadi wuna...e dawas wala iskole indala gedara awama..yakku wage ali bath eka kana hati tawama matakay...

    ReplyDelete
  3. මාරයි ඈ.. නිකං හැලපස්ටයිල් වගේ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද හැලපස්ටයිල් කියන්නෙ

      Delete
    2. http://helapakade.blogspot.co.il/ මේ බ්ලොග් එකට ගිහින් කියවන්න .. ඒක තමයි ඕපන් හලප්ස්ටයිල් ....

      Delete
  4. අප්පා.. අද බර්ත්ඩේ එකකුත් තියෙනවද... හැප්පි හැප්පි බර්ත්ඩේ වේවා තුන් කට්ටුවෙ ලොකු අක්කිට... හි හි...

    දැං පොඩි උන්ට කවන්න යන එකටත් උන් කැමති නෑ අප්ප.. උන් කැමති තනියෙන් කන්න.... පැය ගානක් පිඟාන අතේ තියාගෙන, බත් ඇට ටික ගේ වටේම වපුරලා නටන්නයි උන් කැමති...

    හැබැයි හසරැල් මං දන්න තරමට පොඩි උන්ගේ ලොකුම ආසව තමයි ගෙදර හදන දේකට වඩා කඩෙන් කන්න තියෙන ආසාව... පොඩි උන්ගෙ විතරක් නෙවෙයි මේ අදටත් මම කැමති කඩචෝරු වලට තමයි... අර ඒවා හොඳ නෑ කියන එක ඔලුවෙ තියෙන නිසා සහ කඩෙන් කන්න ගියොත් මාසෙන් බාගයක් බඩගින්නෙ ඉන්න වෙන බව දන්න නිසා ගෙදර උයා ගන්නවා මිසක් නැත්තං මාත් ඔය කඩචෝරු බාස් කෙනෙක් තමයි... හි හි

    පොඩි උන්ගෙ එක වයසක් තියෙනවා කන්න කැමති නැති... ඒ කියන්නෙ අම්මලා පස්සෙන් පන්න පන්න එක එක ජාති කවන කාලෙ.. එක්කො පවුලෙ එකම එකා වෙච්චි කාලෙට.. එහෙම නැත්තං ළමයගේ වැඩීම බාලවෙයි, මොලේ අඩුවෙයි අරවයි මේවයි බයවල් හිතේ තියාගෙන පොඩි එකාට ගිල්ලවන්න දඟලන කාලෙ... ඒකට කන්න බැරි තරං ගිල්ලවන්න ගියාම උෟ කන්නෙ නෑ තමයි...

    ඔය පොඩි උන් නොකන කාලේ ඉස්කෝල පටං ගන්නකං තියෙනව... ඊට පස්සේ උන් කෑවද බිව්වද බලන්න ටිකක් ආමාරු නිසා, තව ඉතිං උදේ ඉඳන් එකොලහ විතර වෙනකං දඟලන නිසා ඔන්න එච්චර කල් බෝල ගෙඩි වගේ හිටපු උන් කෙට්ටු වෙලා උස යන්න ගන්නවා.. ඔන්න අම්මලා ආයිත් ඇවිස්සෙනව.. ආයිත් අරුන්ට ගිල්ලවන්න පටං ගන්නවා.. ආයිත් පොඩි එකා කන්න බෑ ගීතය පටං ගන්නව... ඔන්න ඔහොමයි මං දැකල තියන චක්කරේ නං... හි හි

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං මට නම මාරු වෙලානෙ ඒ පාර... හි හි...

      Delete
  5. එසේ කේ එකේ අයිස් කිරිම් කඩේ දැන් නැද්ද කොහේද? ඒ දවස්වල මාත් මාතර ආහම අයිස් කිරිං කෑව.. මතකයි.. ඒත් කඩේ මතක නැහැ නෙව.. ඉස්සර අයිස් කිරිං කන්න ක්‍රිම් හවුස් එකකට යන්න ඔන දැන ්වගේ හැම ගෙදරම සීතකරන තිබුන් නහැ..හැබැයි ඒ අයිස් කිරිං රසයි කියල දැන් හිතෙනවා..බාගෙදට අතීත කාමය වෙන් ඇති.

    ReplyDelete
  6. දැන් ගියොත් එතනට කන්න වෙන්නෙ රෙදි තමා. අරක නැහැ රෙදි කඩයක් දාලා.

    ReplyDelete
  7. මාතලං ලඟදි ප්‍රොමෝෂන් පාරක් දීලා තියනවා දැකලා පොඩ්ඩක් ඇහැ දාගෙන හිටියා... හොඳයි වගේ උඹේ ලියවිල්ල...

    ReplyDelete
  8. අතීත සුවඳ වහනය වන පොස්ටුවක්,කතාවත් එක්ක හිත කොහෙටද පාවෙලා ගියා

    ReplyDelete
  9. ඇත්තට පොඩි කාලේ අපිත් කටේ ඔබන බත් කට වුණත් කෑවේ නහයෙන් අඬ අඬ. ඒත් දැන් බෝඩින් වෙලා ඉඳලා ගෙදර ආවම නම් කිසි කරදරයක් නැතුව කනවනෙ.

    ReplyDelete
  10. //සුසන්තිකා උසේන් බෝල්ට් පස්සෙ පන්නන සීන් එක ලයිව් බලාගෙන හිටිය ටික වෙලාවක්.// මරු උපමාව! ඔන්න අක්කාට සුබ පැතුවා.

    ReplyDelete
  11. //ඉතින් යකුනේ මේ විදියට කෑම දෙන්න ගියාම දැන් කාලෙ උන්ට බඩගින්නක් හැදෙන්නෙ නැහැ කියන එක අහන්නත් දෙයක්ද. ඒ හින්ද පොලූ අරන් උන් පස්සෙ දුවන්නෙ නැතිව පොඩි පරතරයක් තියාගෙන උන්ට කෑම බීම දෙනවනං හරිනෙ. එක දවසක් අත්හ දා බලන්න. කෑම වේල් තුන විතරක් නියම පරතරයක් ඇතිව දීල. පොඩි උන් ටික යක්කු වගේ පස්සෙන් එන්නෙ නැද්ද කියල කෑම ඉල්ලගෙන. අපි ඒ කාලෙ කලා වගේ.//

    ඹය ටික අපට කියන්න කලින් ගෙදර උන්දැට කියල හිටියනම් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔව කියන්න ගියොත් වෙනදේත් මම ලියල ඇති ඊට පහලින්

      Delete
    2. මාතර උන්ට ඒකට ගට නෑ “ගට“ හැක්....

      Delete
  12. අක්කට ජීවන මගේ හතලිස් වැනි කණුව පසු කලාට සුපෑතුම්..

    ඔය ඔක්කෝම ගැන වගේ ලියලා තියෙන නිසා.. නැවත් ලියන්න යන්නෙ නෑ..

    ඔයාගේ හැසිරීම හොඳ උනාට. පැමිණීම නම් අන්තිමයි.. එහෙම උනොත් නම් ආයුෂ අඩු වෙයි.. අඩු ගානේ පටන් ගන්න කොටවත් සෙට් එකක් හදා ගන්න..

    ReplyDelete
    Replies
    1. මේ උපදෙස් ගත්තොත් හරියට හරි. අපි ඒකනේ මෙතුමාට දෙයියගේ ලබ්බට වගේ සලකන්නේ

      Delete
    2. මාතලං අපිට අහවල් එකේ ඇම්මද මන්දා

      Delete
  13. මේක බලලා ත්‍රිපෝෂ කෑමේ දොළක් උපන්නා.. අල්ලපු වත්තේ ඇන්ටිගේ පොඩි එකත් ලොකු උනා නේ උටත් දැන් මාස 2ක ඉදලා ත්‍රිපෝෂ නෑ ඇන්ටිට තව එකෙක් හදාගන්නෙයි කියන්න ඕනේ

    ReplyDelete
  14. ඇයි අර කිරිම කිරි රස සත් විසිපහෙ ඩෙල්ට ටොෆි

    ReplyDelete
    Replies
    1. උපාලි නැති හන්දා ඒක දැන් අජපල් රහයි

      Delete
  15. අපි ඒ දවස්වල ඉස්කෝලේ යන්නෙත් උදේට කන්නේ නැතුව නේ

    ReplyDelete
    Replies
    1. අනේ පල බොරු නොකියා , අයියා කියන්නේ ඔය හොදට බඩ පැලුනා කියලා

      Delete
  16. මචං මේ උඹලගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්නවානං , ලැප ලගට වඩම්මලා උඹලා තුන්දෙනාගේ කක්කා බෙටි තුන පෙන්නපල්ලා , අම්බානට සතුටුවෙයි ,

    අනික මාතලං කියුවා වාගේ අනික් උන්ගේ අහත් පලයං , නැත්තං හරි කැතයී ,

    ReplyDelete
    Replies
    1. ඊයේත් 5-6කට ගොඩවිය.

      Delete
  17. හරිම රසවත් අතීතයකට තමයි මේ පෝස්ට් එකෙන් අරන් යන්නෙ. දැං පොඩි එවුන්ට ගෙදර හැදෙන, හදන එවුව කන්න කොහේ තියෙන වාසනාවක්ද. ඔක්කොම කඩෙන් ගේන වස විස දාපු දේවල් මිසක්.

    අක්කට සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  18. මේ ස්ටයිල් එක නියමයි.. දැන් මාතෘකා කීයකට අදහස් තියන්නද...මේ පොඩි එවුන්ට කෑම කැවීම යුද්ධයක් වෙලා තියෙන්නේ අපේ අයට විතරයි කියලා මට හිතෙන්නේ. අපේ ගෙදරත් ඔය සටන කාලයක් යනකම් තිබුනා.කෑම පිඟන් සමහරදාට ෆ්ලයින්ග්. මම දැකලා තියෙනවා සුද්දන්ට ඔය ප්‍රශ්නේ නැති විත්තිය...වයස හරි යනකොට අර පුටුව උඩින් තිබ්බා....කෑම ටික දුන්නා....උන් බඩට ඇති ප්‍රමාණය කෑවා...පොඩි එකාට ඉනෆ් නම් මමීටත් ඉනෆ්. උන් ඔය ඉන්නෙ බෝල වගේ. මොකක්ද අපේ අප්සට් එක කියලා මට තේරෙන්නේ නැහැ. ඕක අරාබියේත් මම දැක්කා...උන්ටනම් ළමයි කෑවත් එකයි නැතත් එකයි..හවුස්මේඩ් කවනවානේ.

    ReplyDelete
  19. බොහොම රහයි පෝස්ටුව ඈ........

    මාත් දැකලා තියනවා ඔය කවන්න පස්සෙන් පැන්නිල්ල නම් හය්යෝ

    ReplyDelete
  20. පොඩි එවුන් නම් මදෑ. සමහර ලොකු එවුනුත් ඔහොමලුනේ. අම්ම නම් කියන්නෙ කැම්පස් ගියාම තේරෙයිලු කෑම වල අගේ...

    ReplyDelete