Tuesday, December 3, 2013

මාගේ සිහිනය බොද කොට ඔහු නික්ම ගියේය.........


හැත්තෑව දශකයේ දිනක සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටි පවුලක දෙවැනියා ලෙස උපන් ඔහු, දුටු කිසිවෙකුත් ඔහු ලොව ජනතාව අතර ජනප්‍රිය පුද්ගයකු වනු ඇතැයි කිසිදිනෙක නොසිතන්නට ඇති. ළමා වියේදී ඉතා තරබාරු ශරීරයකට හිමිකම් කිවු ඔහු තරුණියන්ගේ හිත් ඇද බැද තබා ගත් කඩවසම් හොලිවුඩ් නලුවකු වනු ඇතැයි සිතූ කිසිවෙකු එවකට නොවීය. නමුත් දෛවය යනු එයයි.

පාසල් සමයේදී මිතුරන් අතර අවිහින්සකයකු ලෙස නම්දරා සිටි ඔහු, කිසිවිටෙකවත් තම සහෝදර සහෝදරයන් ඉදිරියේ අවිහිංසකයකු නොවීය. කුඩා කලදීම තම සොහොයුරිය සමග සටන් ශිල්ප ක්‍රම හැදෑරීමට ඉදිරිපත් වූ ඔහුට එම පුහුණුව පසු කලෙක තම අනාගත ගමන් මග තීරණය කරාවියැයි සිතන්නට නැත. තම පාසල් දිවිය අතරමගදී කෙලවර කර ගන්නා ඔහු කෙදිනකවත් විශ්ව විද්‍යාලයකට යාමට වරම් නොලද්දේය.තම වෘත්තීය දිවිය පරිගණක ශිල්පියකු ලෙස ආරම්භ කරන ඔහු තම රටේත් විදේශයන්හීදිත් සේවය කරමින් වසර කිහිපයක් ගෙවා දමයි.

තම සොහොයුරාගේ කාරයෙන් අධි වේගී වාහන ධාවනයට අත්පොත් තබන ඔහු. කීප වරකදීම මාරයාට ලංවීමට නොදී අධි වේගී ධාවනයන්හි යෙදීමට සමත්විය. ඔහුගේ මෙම කඩවසම් බව, දක‍්ෂතාවය, සුපිරි වීරත්වය දෙස පසෙක සිට බලා සිටි චරිතයන් කිහිපයක් විය.

නමුත් කල් ගතවී හෝ සුදුස්සාට සුදුසු තැන ලැඛෙන බව ඉතිහාසය අපට සාක‍ෂි දරයි. ක්‍රියාදාම චිත්‍රපට දහස් ගණනින් නිපදවූ හොලිවුඩ් ලෝකයේ වසර ගණනාවක් යන තුරුම, ඔහුට රගපාන්නට වූයේ ප්‍රේක්ෂයාගේ චරිතයයි. නමුත් කවදා හෝ දෛවය තමාට සාදාරණත්වය ඉටුකරනු ඇති බව ඔහු තරයේම විශ්වාස කළේය.

ඔහුගේ ජීවිතය වෙනස් කරන - ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් - චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ මෙවන් අවදියකයි. වින් ඩීසල් වැනි අග්‍රගන්‍ය නලූවකු සමග සම සමසේ චිත්‍රපටියක රගපෑම ඔහුට ඒ සමයේ හීනයක් විය. නමුත් සමහර සිහින යථාර්ථයන් බවට පත්වේ.

අවසානයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍ර පට මාලාවේ අවසන් කොටස ඔහුට වාසනාව රෑගෙන එයි. චිත්‍රපටය රූ ගත කිරීම අවසාන වීමට පෙර අවසනාවන්ත අන්දමින් එහි ප්‍රධාන චරිතයක් රගපෑ පෝල් වෝල්කර් රිය අනතුරකින් මියයාම නිසා, ඔහුට මෙම චිත්‍රපටයේ රංගනයට ආරාධනාවක් ලැඛෙයි. කලක් තිස්සෙ ඔහු දෙස අවධානයෙන් බලා සිටි ප්‍රවීන අධ්‍යක‍ෂක ජස්ටින් ලීන් - පොල් වෝලකර්ගේ අඩුපාඩුව මකා දැමීමට සුදුසු පුද්ගලයා ඔහු බවට තීරණය කරයි.


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .


ඉහතින් දැක්වෙන්නෙ ලබන මස හොලිවුඩ් ලයිෆ් මැගසීනයේ මා ගැන පලවීමට පිලියෙල කෙරුණු ලිපියේ සාරාංශ පිටපතයි. 

හදිසියේ සිදුවූ පොල් වෝල්කර් මහතාගේ සංවේගජනක නික්මයාමෙන් වික්ෂිප්ත භාවයට පත්වූ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කණ්ඩායමේ ඉල්ලීම අහක දැමීමට නොහැකිවූ නිසා වෙනුත්, ඩ්වේන් ජොන්සන් නමැති තඩියා - තෝ නාවොත් උස්සල පොලෙවෙ ගහනවායයි තර්ජනය කරපු බැවිනුත් අවසානයේ මෙම චරිතය භාර ගැනීමට සිදුවිය.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? - මම සියලූ ලට්ටා පට්ට පොදි බැදගෙන යූඒඑස් බලා නැව් නැග්ගෙමි. පැය කිහිපයක ගමනකින් පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටට සේන්දු වූවා පමණි, මගේ ජංගමය නද දෙන්නට විය. අමතන්නේ  වෙන කවුරුවත් නොව අපේ අධ්‍යක‍ෂක තුමා ජස්ටින් ලී ය.

මචෝ මම මේ ලී .. ඔවු බං ජස්ටිය තමා... පොඩි අවුලක් සහෝ ඒකයි උඹ මෙහෙට එන්න කලින්ම කියන්න කියල හිතුනෙ. අපේ ප්‍රොඩියුසර් කාරය මේ ෆිල්ම් එක ගොඩදාගන්න කියල ඉන්දියාවේ බොලිවුඩ් වල පොරක්ව ඉම්පෝර්ට් කරල උගේ චීප් ඇඩ්වයිසර් විදියට. ඔවු ඔවු අර මොකක්ද එහේ හෙන ප්‍රසිද්ධ ටෙලියක නලූ නිලියො මැරෙන කොටයි, ටෙලිය දාලා යනකොටයි, ස්කිරිප්ට් එක වෙනස් කරල ගොඩ දාලා දුන්නෙ මූලූ. 

මූ අපේ පෝල් මලයත් පළවෙනි දෙවෙනි සීන් එකේදිම ඇක්සිඩන්ඩ් වෙන්න සෙට් කරල. හැබැයි මූ මැරෙන්නෙ නැහැ, ප්ලාස්ටික් සර්ජරියක් කරල මූන වෙනස් කරනව. ආයිත් දිගටම ඌ වෙනුවට වෙනින් එකෙක් රගපානව.

හරි හරි උඹ කලබල වෙන්න එපා. 

මම උඹ ගෙන්නුවෙ පොල් වෝල්කර් වෙනුවට තමයි. මොකද උඹට තියෙන්නෙ උගේම පෙනුම හින්ද මම හිතුවෙ උඹව දාලා ඉතිරි ටික ඇදගෙන යන්න. කොහේද මේ කරුමක්කාර ඉන්දියන් කාරයෙක් පැන්නනෙ ඒකටත්. දැන් ඌ කියනව ප්ලාස්ටික් සර්ජරිය කරාම වෙනස්ම වෙනස් මූනක් එන හින්ද කෝනර් ගේ චරිතෙට වෙනින් එකෙක් ගමු කියල.

හැබැයි ඉන්දියන් කාරය හොද එකා බං. ඌ අල්ලපු රටේ හින්දද දන්නෙ නෑ උඹ ගැන මාර වොරී.

ඌ කියනව වරදිලාවත් ඩ්වේන් ජොනසන් මැරුණොත් ඒ චරිතෙ උඹට දෙමු කියල, මොකද? . . . . . . . . . . . . . . . . .උඹේ ඇගත් උගේ වගේම හින්ද.


. . . . . . . . . . . . . . . . . . . . .

පෝල් වෝල්කර් මියයාම නිසා ලොව සුවහසක් ජනතාව ශෝක වෙද්දී සතුටුවූ එකම පුද්ගලයා මම වෙමි. නමුත් ඒ සතුට ඉතාම කෙටිකලකින් අවසන් විය.


ඩ්වෙන් ජොන්සන් කූරියා ගසන තුරු ඇගිලි ගනිමින් සිටිමි.

Wednesday, November 20, 2013

උග්‍ර අප භාෂණය, ප්‍රතියුක්ත සම්ප්‍රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණත්වය


මං මේ මිනිහට මගින් මගටම කිව්ව සිල්වියා ටිකක් මොලේ කල්පනා කරල වැඩ කරන්නය කියල. ඔය ගෙන්දගම් පොළවෙ පයගැහැව්වම කියන කරන දේවල් ඔක්කොම අමතක වෙනව කියල අපේ ඩැඩාත් කියල තියෙනව. කොහෙද මේ මිනිහ කියන එක අහන එකක්යැ ඔය ගියේ උඩ දාගෙන රට රකින්න කියල. හත් දෙයියනේ දැන් කොහොමද අපි ලෝකෙට මුහුන දෙන්නෙ. මටනම් දැන් එළියට බහින්නවත් හිත් දෙන්නෙ නෑ අයියෝ. ඇරත් මං අහන්නෙ මිනිහට වටිනවද අර රටක් රාජ්ජයක් වගේ ඉන්න ප්‍රයිම් මිනිස්ටර්ගෙ හිත රිදෙන විදියට අර විදියට කථා කරන්න. දැන් මේ රටේ මිනිස්සු මං ගැනත් මොනව හිතනවද දන්නෙ නැහැ.  මේ මිනිහ තාත්තෙක් නේද? හිතන්න එපායැ තමන්ගෙ ළමයි කොහොමද සමාජෙට මුහුන දෙන්නෙ කියල. මේ රටේ විතරක්නං කමක් නෑ, බලන්න අර ඇමරිකන් කොල්ලට කථා කරපු හැටි. වැදගත් මිනිහෙක් කරන වැඩක්ද. මගේ ඇමරිකන් රිලේටිව්ස්ල මොනවා හිතනව ඇත්ද? මම නෙවෙයි තව මොහොතක් මේ ගෙදර ඉන්නෙ. (ඉංගිරිසියෙන්) අම්මප යනව ඔලූව හැරුණ අතේ...

........................................................................


ජෙනරාල් මේක තමයි අපේ ඉතිහාසයේ සිදුවුනු විශාලම ත්‍රස්තවාදී ප්‍රහාරය. බිල් ලාඩන් කාරය ලෝක වෙළද මධ්‍යස්ථානෙ බිම දැම්මට ඒක නිකම්ම කිනං බිල්ඩිමක් විතරයි. නමුත් මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ අපේ මුදුන් මුලටමයි. මෙච්චර කාලයක් අපි ලෝකෙ පාලනය කරන්න භාවිතා කරපු මේ ආයුදේ කොහොමද මේ තුන්වෙනි ලෝකෙ මිනිහෙක්ගෙ අතට ගියේ. ඇරත් කෝ මේ එෆ්.බී.අයි. සී අයි.ඒ. කාරයො ටික. උඹල එකෙකුටවත් පුර්ණ නිගමනයක් තිබුනෙ නැද්ද මේ ත්‍රස්තවාදිය මෙහෙම දේකට අර අදිනව කියල. දැන් ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි.  දැන් අහවල් එකක් කියල මූට ගහන්නද? මොකෝ මුගේ ලග රසායනික අවිවත් තියෙයි කියලයැ.

................................................................


ඔහෙට මම කිව්ව හරියට හොයන්නෙ බලන්නෙ නැතිව මේ ළමයි ටියුෂන් පන්ති ගානේ යවනකොට මෙහෙම වේවි කියල. බලනව මේ කොල්ලගේ රිසල්ට් ශීට් එක. ඉතිහායස 34, රසායන විද්‍යාව 45, භූගෝලය 28, ඉංගිරිසි .. අනේ අම්මප ඉංගිරිසි මුගේ මව් භාසාව නේද?  56. මේ හාම්නේ දැන්නම් මේක බලන් හිටිය හොදටෝම ඇති. මූව මකවල හරි හදන්න දැන් කාලේ හරි. මම අද එද්දි දැක්ක හයිඩ් පාක් හන්දියෙ බැනර් එකක් එල්ලල තියෙනවා ඉංග්‍රීසි ටියුෂන් කාරයෙක්ගෙ. මිනිහ  දැන් ලංඩන් වල හරි ප්‍රසිද්ධයි කියන්නෙ. අම්මල තාත්තල පෝලිමේ ළමයි අරන් යනවලූ මිනිහගෙ ඉංග්‍රීසි පන්තියට. අපේ ඔෆීස් එකේ එවුන්නං කියන්නෙ ශේක්ෂ්ෆියර් ගාවට ලෝකෙ බිහිවෙච්ච හොදම ඉංගිරීසි කාරය මිනිහ කියලයි.

................................................................


බොලං අප්පුවෝ උන්දැ දුන්න නේද ඉංගිරිසියෙන් හුච හුච ගාල. අර සුද්දට රෙවෙන්න බොල. ඌ හරියට ඇඹරුනේ අද ඊයේ ගෙට වෙච්චි කෙල්ලෙක් ගානට ඕන් අම්මප. ඕන් ඔහොම වීර වරු තමයි බොල මේ පොලොවට තව තවත් බිහි වෙන්න ඕන මං කියන්නෙ. බල පල්ලකො උන්දැගේ ගාම්බීර පෙණුම. මට නම් පෙනුනෙ අපේ ඩී ඇස් අප්පො ආයිත් පොලොවෙන් නැගිටල ඇවිත් වගේ කියල. ඒකට මේ දැන් මේ රට කන කැනහිල්ලූ ටික. එකෙකුට පුලූවන්ද උන්දැ වගේ ඉංගිරිසියෙන් වචන දෙකක් කියෝ ගන්න. මාත් එක්ක ටැලිවිසොම බල බල උන්නු අපේ ඉස්කෝලෙ බෑනන්ඩියගෙන් මං ඇහැව්ව මොනාද බං මේ මහත්තැන් අර කච බච ගාල දෙසා බෑවෙ කියල. ඌ කන්න වගේ වගේ මගේ දිහා බලන් ඉදල කියපි - උගේ අම්මගෙ ඉංගිරිසි - ඕව අපේ පොත්වල නෑය කියල.

..................................................................


මේ මා පසුගිය සතියේ ලෝකයේ රටවල් කිහිපයක සිදුකල සංචාරයේදී අහම්ඛෙන් මෙන් අසන්නට ලැබුනු සිද්දීන් වලින් කිහිපයක් පමණි. මිනිසුන්ගේ කථා බහට හොරෙන් සවන්දීම සහ ඒවා නැවත නැවත තැන් තැන් වල කිය කියා යෑම නරක පුරුද්දක් බැවින් මේ කථා මෙතැකින් නතර කරමි.

නමුත් මට එහෙන් මෙහෙන් ආරංචි වූ කරුනු කාරනා ටිකක් ඔබලාට නොකියාම ගියොත් මට අද නින්ද නොයන නිසා පහතින් කිය ලියා තබමි.

(ඒ). මේ සිද්ධි දාමයට අනුව.. මට නම් පෙනී යන්නෙ.. .. ..  මගේ ඇමතිකම..... ලගදීම .... වෙනත් අයකු විසින්...... දරනු ඇති බවයි..... - ඇමතිවරයෙක් හීනෙන් දොඩවයි

(බී). මිනිහ මගේ ඉංගිරිසී පන්තියේ අන්තිම පේලියෙ හිටියෙ. ඒ දවස්වල හරි කම්මැලිය. ඇල්පබට් එකවත් ඇහුවට පාඩං නෑ. මිනිහ අද ඔය තත්ත්වෙ ඉන්නෙ මම හින්ද - සිරකරුවෙක් තවත් සිරකරවෙකුට පවසයි

(සී). මේ නරකද මිනිහව ඔහේගේ ඉංගිරිසී උපදේශක කරගෙන, අපේ ලොකු අක්කගෙ පුතාට තානාපති කම දුන්නොත් - උඩු රුවුලක් ඇති මහතෙකුට සිය බිරිද පවසයි

(ඩී). ලබන සතියෙ පන්ති ඔක්කොම නිවාඩුයි කියල ළමයින්ට දන්වල රේඩියෝ එකේ ඇඩ් එකක් දාන්න ඕන. කවුද දන්නෙ උන් අහවිද කියල අර ඉංගිරිසි වචන වල සිංහල තේරුම මොකක්ද කියල - අපේ සිංහල පන්තියේ සර්

මගේ අගක් මුලක් නොමැති කථාව මෙතැකින් නවතා දමමි. ඒ මන්ද යත් මේ ඉහතින් කියු ඇසූ කාරනා මිහිපිට හෝ අන්තර් ජාලයේ පය ගසා සිටින ඔබ වැන්නන්ට අරුමයක් නොවන නිසාවෙනි. අද ලෝකයේ හැමතැනම කථා කරන මේ ඉංගිරිසි වචන කිහිපයේ සිංහල අරුත් මේ පෝස්ටුවේ හෙඩිම වේ.

vitriolic diatribe...... proxy propaganda....... dichotomy of dis-juncture....punitive justice....


සතියේ ත්‍යාගයක් දිනා ගත හැකි ප්‍රශ්නය - ම විසින් ඒ බී සී ඩී ලෙස දක්වා ඇති දෙබස් කාණ්ඩයන් කවුරු විසින් පවසන ලද ඒවාද යන්න නිවරදි අනුපිලිවෙලින් කොමෙන්ටු කරන වාසාවන්තයන් අතුරෙන් පස් දෙනෙකුට - අද අපේ අක්කා කොන්ඩය ඩයි කිරීමට භාවිතා කළ ඩයි වර්ගයෙන් පැකට් පහක් නොමිළේ ලබා දෙනු ලැබේ.

Wednesday, November 13, 2013

ඉල්ලන් කෑම



අද අපේ ගෙදර කස්ටිය දැන් ටික වෙලාවකට කලින් ඔන්න ස්කයිප් ආව. මාත් ඉතින් කථා කරන්න කියල සෙට් වෙනකොට මෙන්න අපේ උන්දැ පිගානක් අතේ අරන් පොඩි එකා පස්සෙන් දුවනව. රෑට කවන්න. ඉතින් මොන ස්කයිප් ද මමත් සුසන්තිකා උසේන් බෝල්ට් පස්සෙ පන්නන සීන් එක ලයිව් බලාගෙන හිටිය ටික වෙලාවක්. මේක මේ අද දැක්කට මටනම් එච්චර නොපුරුදු සීන් එකක් නෙවෙයි. දැන් අවුරුදු 7-8ක ඉදන් අපේ ගෙදර තත්ත්වය ඕකයි. අපේ ගෙදර කන බොන වේලාව මාතර දිස්ත්‍රික්කෙම උන් දන්නව අපි කන දේවලූත් එක්කම. ඇයි අපේ උන්දැ රටටම ඇහෙන්න කෑ ගහගහ නෙව කොල්ල පස්සෙ පන්නන්නෙ.

හැබැයි ඉතින් පුදුමෙ කියන්නෙ මේක අපේ ගෙදරට අවේනික වෙච්චි සිද්ධියකුත් නොවෙයි. මම දන්න කියන පොඩි උන් ඉන්න හැමතැනම තත්ත්වෙ ඕකයි. මුන් එකෙක්වත් අනේ අපිට කන්න දීපියෝ කියල කෑමක් කන්නෙම නැහැනෙ. අඩුම ගානේ පැය දෙකක් විතර පස්සෙන් ඇවිදල, කථා කියල, පාරෙයන මාමල පෙන්නල බය කරල, ඩීවීඩී එකක් හරි ටීඩී එකේ යන කාටූන් එකක් පෙන්න පෙන්න හරි මෙකි නොකී දහසකුත් දේවල් කරල පොඩි උන්ව මෝහනය කරල තමයි හැම ගෙදරම මුන්ට බත් ටිකක් කවා ගන්නෙ.

ඇත්තටම මොකක්ද මේ කරුමෙට හේතුව. හේතුව හොයන්න කලින් අපි පොඩ්ඩක් අවුරුදු 20-30 ආපස්සට ගිහින් බලමු.

ඔන්න එහෙනං ඇස් වහගන්න එකායි දෙකයි දෙකා හමාරයි, තුනායි.
හරි දැන් ඇස් අරින්න........
හරි ඔන්න අපි දැන් ඉන්නෙ 1980 ගනන්වල හරිය.

ෂුවර් නැත්තං ජාතික රූපවාහිනිය ආල බලන්න. ජෙ. ආර් උන්නැහේගෙ ගුණගායනාවක් යනව ඇති. එහෙමත් නැත්තං ප්‍රේමයිය මල්වට්ටියක් අරං පන්සල් යනව පෙන්නයි.

හරි ඒවයින් වැඩක් නැහැ ආයිත් බහිමු කථාවට.

ඔන්න ඉතින් උදේම නැගිටින කොට අම්ම තේ එක බොන්න කියල කෑ ගහනව. ඒ කාලෙ අපේ ගෙදර හරක් දෙන්නෙක් හිටිය. (ඕන්න ඉතින් මටත් කලින් වැරදියට හිතුව නෙ. ඒ දෙන්න ගැන නෙවී කියන්නෙ) මේ ඇත්තම ඇත්ත හරක්. අපේ සීය හැදුවෙ. ඒ හින්ද අපේ ගෙදර ගොඩක් වෙලාවට එළ කිරි වැරදුනේම නැහැ. අපේ ගෙදර කස්ටියම හොද එළකිරි පොරවල් මම ඇරෙන්න. ඒ හින්ද මම ගොඩක් වෙලාවට ඇරල දැම්මෙ ඩී සී ඩී අඩංගු රෝසි සේනානායක නොනගේ කිරි තමා. අපේ මලයටනං පොඩි කාලේ දුන්නෙ ලැක්ටෝජන් කියන ජාතිය (ඕකට අපේ ආච්චි කිව්වෙ ලැට්හෝදන් කියල).

ඊට පස්සෙ උදේ ආහාර වේල. ගොඩක් දවසට ගෙදර බතක් ඉදුනත් ඒ තාත්තට දවල් කෑම ගෙනියන්න ඕනි හන්ද. මොකද මම මෙහෙම කිව්වෙ මේ කාලෙ වෙනතොට අපේ උදේ ආහාර වේල පාන් වලින් ආක්‍රමනය කරලයි තිබුනෙ. පානුයි පරිප්පුයි - පරිප්පුයි පානුයි එක්ක පොල්සම්බෝලයක් වගේ දෙයක් තමා ආච්චිගේ බ්‍රෙක්ෆස්ට් මෙනූ එකේ තිබුනෙ. සමහර දවස්වලට ආච්චි ඉස්සෙල්ල දවසෙ ඉතිරිවුන බත් වලින් දිය බතන් හදනව. මම නං ඒක දිහා බලපු බවක්වත් මට මතක නැහැ. හැම මාසෙම පළවෙනිදට ගෙදර කිරිබතක් වැරදුනේ නැහැ. ඊටත් අමතරව උපන්දිනයක් දවසක හරි වෙන විශේෂ දවසක හරි ඒ දේ ඒ විදියටම සිද්ධවුනා. ඒ ඇරෙන්න වෙන විශේෂ කෑමක් කියල උදේක හැදුනනං ඒ ආප්ප විතරයි. මාසෙට අවසක් විතර වත්තෙන් ගලව ගත්ත අල ජාතියක් තම්බන්නත් ආච්චිගෙ පුරුද්දක් තිබුන.

උදේ කෑමෙන් පස්සෙ දවල්ට කනකන් කියල විශේෂදෙයකට ලැබුනෙ ඉස්කෝලෙන් ලැබුන දිවා ආහාර බිස්කට් ටික තමයි. ඊට අමතරව පාසල් වත්තෙ පොලූ පහරකින් නෙලා ගත්ත අඹ ගැටයක්, දං ගෙඩියක්, බෝවිටිය ටිකක් අපේ බඩට නොගිය දවසක් නැහැ. ගෙදර ඉන්න දවසක නම් පේර ගෙඩියක් වගේ ගෙදර හැදෙන පළතුරක් තමා අමතර ආහාරයක් වුනේ.

දවල් කෑම නං ඉතින් බත් ම තමා. බත් එක්ක ඔය මොනව හරි එළවලූවක් දෙකක් සහ මාතර උපන් වාසනාව නිසා මාලූ හොද්දක් හරි ඇඹුල් තියල් හරි වැරදුනේ ම නැහැ. අපි ඒ කාලෙ ඉස්කෝලෙ ඉදන් ගෙදර එන්නෙ, යක්කු වගේ. පොත් බෑග් එක කොහෙට හරි වීසිකරන ගමන් කෙලින්ම කෑම කාමරේ තමා. බත් ටිකක් ඇදල දාල තමයි අනිත් හැම දෙයක් ගැනම හිතන්නෙ. ඇත්තටම ඒ වෙනකොට තිබුනෙ පුදුම බඩගින්නක්.

ඉතින් ඊට පස්සෙ රෑට කනකන් කියල විශේෂ කෑමක් අපිට තිබුනෙ නැහැ. විශේෂ දවසක ගෙදර හදන කැවිල්ලක් පෙවිල්ලක් හැරුණු කොට හවසට ලැබුනෙ හසරැල් මිඩ් වයිෆ්ට පෙන්නල ගත්ත ත්‍රිපෝෂ තමයි. කියනකොටත් මතක් කරන කොටත් කටට කෙල උනනව. ත්‍රිපෝෂනං තාමත් ඒ රහම තමයි. ඒ ඇරුණම ආච්චි හදන අග්ගලාවක් වගේ දෙයක් ඉද හිට බඩට බොග් ගාල වැටුන.

රෑට අපේ ගෙදර මේන් කෝස් එක වුනේ ගොඩක් දවසට බත් තමා. ඒ ඇරුණම පිට්ටු, ආප්ප වගේ දෙයක් හරි ඉද හිට අම්මටයි ආච්චිටයි කම්මැලි වුනු දවසට පානුයි තමයි රාත්‍රී ආහාර ය වුනේ.

දැන් කස්ටිය මේව කියවල කෙල ගිලිනව හෙම නෙවෙයි. මම මේ කරුණු කාරණා ටික දෙසා බෑවෙ ඒකාලෙ පොඩි උන් වෙච්චි අපේ දෛනික ආහාර ප්‍රතිපත්තිය ගැන පොඩි අවබෝධයක් බලා දෙන්න හිතුන හින්දයි.

ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ඉද හිට කෑමෙන් පස්සෙ ගස් ලබු කෑල්ලක් (ඒකත් ගෙදර ගහක හැදුනු) ලැබුනු දවස් තිබුන. ඊට අමතරව අදටත් මගේ ප්‍රියතම කෑම වෙච්චි මුදවපු කිරි තමා ප්‍රධානම ඩෙසට් එක වුනේ. ඒතකොට අයිස් ක්‍රීම් - අනේ කියන්න සන්තෝසයි ඒ කාලෙ අයිස්ක්‍රීම් එකක් කන්නනම් මාතරම යන්න ඕනි. ඒ කාලෙ අපේ මාතර ගමනක විශේෂ ම අංගයක් වුනේ මාතර එස් කේ එකට ගිහිල්ල අයිස්ක්‍රිම් එකක් කන එක. ඒ කාලෙ අයිස්ක්‍රීම් ඒ තරමට ම විරලයි.

එතකොට කේක් - ඇත්තටම ඒ කාලෙ කේක් දකින්නනම් අලූත් අවුරුදු කාලෙ වෙනකන් ඉන්න ඕනෙ. ඒකත් බොහොම වෙලාවකට ගමේ බේකරියෙ හදපු පාන්වලට වඩා පොඩ්ඩක් වෙනස් කේක් තමා. අවුරුද්දට වුනත් ගෙදරට එන කේක් රට වටේ යනව මිසක් බඩට යන්නෙ බොහොම හදිස්සියෙන් නෙ. මතක හිටින රසකට කාපු කේක් නම් ඉතින් කලූනික වගේ වුනු ලිට්ල් ලයන් අයිසින් රෝල් තමා. ඒකත් අවුරුද්දකට දෙපාරක් විතර මන් හිතන්නෙ.

එතකොට ඒ කාලෙ ළමයි ටොෆි චොකලට් කාලම නැද්ද? ඇයි නැත්තෙ අපි කෑව සත පනහට ගොට්ටක් ලැඛෙන කඩි බිත්තර, තව  එතකොට සත විසිපහේ ලොසින්ජර, ඇයි තාමත් හක්කෙ ඇලිල තියෙන බුල්ටො. ඒව තමා ඒකාලෙ අපේ ප්‍රියතම ආහාර වුනේ. ඇයි චොකලට් - අනේද කියන්නෙ රට ඉදල කවුරුහරි ආවොත් තමා චොකලට් හරි කොහෙල් ගෙඩිය මාක් කහපාට කොලේ චූයින්ගම් එකක් හරි ලැබුනෙ. ඔන්න කොලොම්පුරේ ඉන්න කවුරුහරි ගමේ එනකොටනං එඩ්නා හරි කැන්ඩෝස් හරි චොකලට් එකක් කන්න වාසනාව උදා වුනා. යෝගට් වගේ දෙයක් කාපු දිනයක් හරි විදියක් හරිනං මගේ මතකෙට එන්නෙම නැහැ. ඉස්කොලෙට එන අයිස්ක්‍රීම් බයිසිකලේ සැකරින් සුවදනං තාමත් මගේ නාස් පුඩු වල රැදිල තියෙනව.

එතකොට අන්කල් ඒ කාලෙ  ෂෝට් ඊට්ස්, පීසා, කේඒෆ්සී වගේ දේවල් කාලම නැද්ද? දැන් කාලෙ කොල්ලෙක් කෙල්ලෙක් එහෙම පුරස්නයක් අහන්න ඉඩ තියෙනව. ඇයි බොල නැත්තෙ.

අපි කෑව සීනි කුරුල්ලො (දැන් කියන්නෙ කිඹුල බනිස්) එතනින් ගියාම බනිස්, ගල් බනිස්, බිස්කට් නම් සව් බොරව, සීනි බිස්කට්, බටර් විස්කෝතු වගේ දේවල්. ඒ කාලෙ පීසා හට්, කේඑෆ්සී එකෙන් කාල තියෙනව ඇමරිකාවෙ කොල්ලො - අපි නෙවයි.

හරි දැන් ඔය මැදෑ. මම මේ කටට කෙල උනන විස්තර ටික කිව්වෙ ඒ කාලෙ පොඩි උන් වෙච්චි අපේ දෛනික ආහාර සහ ආහාර පුරුදු ගැන පොඩි දැනුම්වත් කිරීමක් කරන්න ඕන හින්දයි.

ඒහෙනම් දැන් ආයිත් යමු වර්තමානෙට.
එකයි දෙනායි තුනායි හරි දැන් ඇස් අරින්න.
බලන්න අයි ටී එන් එක දාල චැනල් ෆෝ එකේ එකාගේ දෙමව්පියන්ගෙ ගුණ කියවනවද කියල. එහෙනං ඔන්න වර්තමානෙට ආව.

දැන් බලමු අපේ පොඩි එවුන්නෙ දුප්පත් කෑම වේල ගැන.

උදේම වෙ ප්‍රෝටීන් සහිත (නතාන් මැකලම් ගෙ රටේ - ඊයෙ දුන්නෙ හේරත්ට බීපු කිරි මතක් වෙන්න) කිරි.

ඉන් පස්සෙ උදේට බත්, පාන්, ෂෝට් ඊට්ස් හරි කිරි සමග කෝන් ප්ලාස්ක්

දහයට විතර යෝගට් එකක් හරි බිස්කට් සමග බීමට යමක්

දිවා ආහාරය - බෝහෝ විට බත්, සොසේජස් බිත්තර මාලූ අල පෙති බැදුම හෝ අම්මට උයන්න කම්මැලිනම් කඩෙන් ගෙනාපු චීනාගෙ ෆයිඩ් රයිස් ඩෙසට් එකට ඇට නැති මිදි ඇපල් හරි ගස්ලබු වගේ දෙයක් හෝ අයිස් ක්‍රීම් කැරමල් පුඩිමක්

සවස - ෂොට් ඊට්ස් සමග කිරි තේ

රෑට - බත් නැත්තං පාන්, හදිසියෙන් ඉදිආප්ප, රොටී හෝ එළියට යමු ඩාලින් නිෂ්පාදන කොත්තු රොටී, පරාටා, චයිනීස් නිෂ්පාදන රයිඩ් ෆයිස්, පීසා වැනි දෙයක්

නින්දට පෙර - තේ එකක් කෝපි එකක්.

ඉන් අරුණම - වර්ග දහසකට අධික ටොෆි චොකලට් වර්ග අයිස් ක්‍රීම් වර්ග කේක් වර්ග සහ නොයෙකුත් වෛවාරණ ඩෙසට් වර්ග

මේ විදියට බැලූවම වර්තමානය වෙනකොට අපේ ගෙවල්වල පොඩි උන්ට දවසට කෑම වේල 5-6 විතර වැටෙනවනෙ.

ඉතින් යකුනේ මේ විදියට කෑම දෙන්න ගියාම දැන් කාලෙ උන්ට බඩගින්නක් හැදෙන්නෙ නැහැ කියන එක අහන්නත් දෙයක්ද. ඒ හින්ද පොලූ අරන් උන් පස්සෙ දුවන්නෙ නැතිව පොඩි පරතරයක් තියාගෙන උන්ට කෑම බීම දෙනවනං හරිනෙ. එක දවසක් අත්හ දා බලන්න. කෑම වේල් තුන විතරක් නියම පරතරයක් ඇතිව දීල. පොඩි උන් ටික යක්කු වගේ පස්සෙන් එන්නෙ නැද්ද කියල කෑම ඉල්ලගෙන. අපි ඒ කාලෙ කලා වගේ.

මගේ මේ වෛද්‍ය උපදෙස් ඔබ තුමන්ලාවත් අත්හදා බලා හරි ගියොත් මට පොඩි කොමෙනට් පාරක් හරි දාල කියන්න.

මොකද මේව අත්හදා බලන්න අපේ උන්දැට කියන්න ගියොත් වෙන්නෙ මට දැනට ලැඛෙන පින්ඩපාතෙ ටිකත් නැති වෙලා යන එක විතරයි.



පසුවදන - ම විසින් මෙහි සදහන් ආහාර පුදුරු මධ්‍යම පාන්තිකයෙක් ලෙස උපන් මාගේ හා වත්මන් මධ්‍යම පාන්තික ආහාර පුරුදුයයි මා සිතනා ඒවා බව සදහන් කරනු කැමැත්තෙමි. අදටත් කුසට ආහාරයක් නොමැති දරුවන් අසීමිත ලෙස අපේ පොලවේ ජීවත් වන බවත් - මා දැනට ජීවත් වන රටේ එක රොටිය තුනට කඩා ගෙන තුන් වේල කන දරුවන් මට මුන ගැසී ඇති බවත් සදහන් කරනු කැමැත්තෙමි.

මෙම ලිපිය අද දින තම දිවියේ හතලිස් වැනි කණුව පසුකරන අපේ අක්කාට නොහොත් වාසනා ඇන්ටීට පුද කරමි.





Saturday, November 9, 2013

මහා රූපවාහිනී දැක්ම සහ ගමට විදුලිය


ඔන්න දැන් ඉතින් අපිත් රූපවාහිනී යන්ත්‍රයක හිමිකරුවො. ඒ කාලේ ගෙදරක රූපවාහිනියක් තියෙනවයි කියන්නෙ දැන් කාලේ ලැම්බොගිනියක් තියෙනව වගේ තමයි. හැබැයි අපේ ගම්වල මිනිස්සු කවදාවත් ගෙදර රූපවාහිනිය හංගගෙන බලන්න තරම් කුහක වුනේ නැහැ. තමන් අමාරුවෙන් හම්බ කරගත් මුදලින් ගෙනාපු යන්තරේ තමන් බැලූවත් නැතත් ගමේ මිනිස්සුන් වෙනුවෙන් හැම තිස්සෙම වැඩ කලා.

ඉතින් මේ කාලෙ අපේ ගෙදර තත්ත්වයත් පුදුම විදියට වෙනස් වුනා. වෙනද ගෙදර හිටිය පස් හය දෙනා වෙනුවට රෑට ගෙදර 30-40 විතර පිරෙන්න ගත්ත. මේ හින්දම ටී වී එක වැඩිකලක් නොගිහින්ම ගෙදර වැඩිය ඉඩකඩ තිබුනු ඉස්තෝප්පුවට ගෙන එන්න බලධාරීන් කටයුතු කළා. හැබැයි දර්ශන වාරය ඉවර වුනු ගමන්ම නැවතත් ගෙදර සාලයේ විශේෂ තැනක ඒක තබන්නත්, වටිනා රෙදි කැබැල්ලකින් ආවරනය කරල තියන්නත් කටයුතු සලස්වලයි තිබුනෙ. ඒ වෙන මොක නිසාවත් නෙවෙයි ගෙදරට එන අමුත්තන්ට පේන්න සලස්වන්න ඕන නිසයි.

මට මතක විදියට ඒ කාලෙ ඉතින් වැඩේ පන් ගත්තෙ හවස 6-7 විතර ඇති. මේ වෙලාව ලං වෙනකොට ගෙදරට එකා දෙන්න පිරෙන්න ගන්නව. හොද ප්ලේස් එකක් අල්ලගන්න ඕන අය කලින්ම ඇවිල්ල වැඩේට සෙට් වෙනව. වැඩේ කියන්නෙ අපේ ගෙදර බැල්කනි පහසු කමුත් තිබුන. (අපේ අක්කා රිංගීමට ඉඩ ඇති නිසා බොක්ස් පහසුකම් අත්හිටුවා තිබිනි) බැල්කනිය කියන්නෙ ගෙදර තිබුනු වැල් ඇද. අනිත් අය පැදුරු දාල බිම ඉදගන්න හින්ද වැල් ඇදේ ඉදගත්තම සැප පහසුව වගේම ඉදිරිපස දර්ශනයත් බැල්කනියක ආකාරයෙන්ම ලැබුන. ඔන්න ඔය හින්දම මේ බැල්කනිය අයිති කරගන්න ඉතා දැඩි අරගලයක් දිනපතාම ඇතිවුනා. මේකෙ අනිවාර්ය අයිතිකාරයො වෙච්චි අපේ නැන්දගෙ පුතාල දෙන්න හැරුනුකොට මටත් ආසන ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. නමුත් අනිත් කොල්ලො ටික අතරෙ මේ සම්බන්ධයෙන් තිබුනෙ විශාල අරගයක්. මේක අපේ ගෙදරින් පිටදිත් ඔලූ පලාගන්නා තරමට දුරදිග ගිය අවස්ථාවලූත් ඕන තරම් තිබුන.

මධු රසාංග සහ නන්දන වින්දන තමා ඒ කාලේ තිබුණු වැඩ සටහන් අතරින්  වලට  විශාල ජනතා ප්‍රසාදයක් හිමිවුනු වැඩ සටහන් වුනේ. එදාටනම් ගෙදර ඉඩක් කඩක් හොයාගන්න බැරි තරමට සෙනග පිරුන. ඒ වගේම තමයි චිත්‍රපටියක් තිබුනු දවස්වලත්. ඉතින් මේ ගෙදරට එන පිරිස හින්ද අපේ ගෙදරත් පොඩි පොඩි වෙනස් කම් සිදුවෙමින් තිබුන.

ගෙදර ගමේම මිනිස්සු පිරිල ඉදිද්දි අපිට කෑම ගැනීමත් ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ හින්දම අපි වේලාසනින් රාත්‍රී ආහාර වෙල ගන්න පුරුදු වුනා. අදටත් අපේ ගෙදර රෑ හත වෙන කොට කාල බීල ඉවර වෙන්නෙ ඒ පුරුද්ද හින්දයි කියලයි මට හිතෙන්නෙ. හැබැයි මේ ගෙදරට එන මිනිස්සුන්ට කවදාවත් තේ කෝප්පයක් වැරදුනේ නැහැ. චිත්‍රපටියක් තියෙන දවසට කන්න ඛෙන්නත් මොනව හරි අනිවාර්යයෙන්ම ලැබුන.

මේ කාලෙ අපේ ගමට විදුලි බලය තිබුනෙ නැති නිසා ටී වී එක බැලූවෙ කාර් බැටරියකින්. ගෙදරත් ටියුබ් ලයිට් දෙකක් පත්තු වුනා තවත් බැටරියකින්. ඉතින් මේ බැටරිය සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර රී චාර්ජ් කරන්න ඕන. බැටරිය බහිනව කියල දැනගන්නෙ ටී වී එකේ තිරේ දෙපැත්තනේ හීනියට කලූපාට ඉරි දෙකක් මෝදු වෙනකොටයි. මේ වෙනකොට ගමේ බැටරි චාර්ජ් කලේ චන්ද්‍ර අයියලයි ගෙදර. හැබැයි බැටරිය උස්සගෙන එහාට යන්න අපිට ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. මොකද බැටරිය උස්සගෙන යන්න සැදී පැහැදී සිටපු විශාල රසික ජනතාවක් මේ වන විට අපි වටේ එකතු වෙලා හිටපු නිසා. අපේ තාත්තට තිබුනෙ ඒකට යන ගාන ගෙවන්න විතරයි.

ඉතින් ඔන්න ඔහොම කාලයක් ගෙවී ගෙන යනකොට ගමට අලූතින් ටී වී එක දෙක එන්න පටන් ගත්ත. විශේෂයෙන්ම රටින් එහා මැද පෙරදිග වැඩ කරපු අය නැවත ලන්කාවට එද්දි විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍රයක් ගෙන එන්න පුරුදු වුනා. ඒවා ප්‍රමාණයෙන් විශාල වුනා වගේම පාට පාටිනුත් හැඩ වුනා. පාට පාටින් හැඩ වුනා කිව්වෙ ඒවා වර්ණ රූපවාහිනී. ඉතින් ගමේ ටී වී වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ගෙදරට එන සංඛ්‍යාවත් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න ගත්ත. ඒ කියන්නෙ ඔවුන් තමන්ගෙ ගෙදරට ආසන්නම ස්ථානයට යන්න පටන් ගත්ත. ඒ වගේමයි වර්ණ රූපවාහිනී තිබුනු තැන්වලට ඉල්ලූම වැඩිවුනා. අපේ නැන්දලගෙ පුතාලත් හොර හොරාට වෙනින් ගෙවල්වලට යන්න පටන් ගත්ත. මේක මුලින් දවස් වල මට හරිම හිතේ අමාරුවක් වුනා. ගමට අලූතෙන් ටී වී එකක් ආව කියල දැනගත්තම පොඩි ඉරිසියාවක් වගේ එකක් හිතට දැනුනෙ නැත්තෙමත් නැහැ.හැබැයි ඒකෙ හොදම දේ තමයි රූපවාහිනිය අපිට ඕන විදියට අපේ විදියට බලන්න ඉඩ කඩ ලැබීම.

ගමට වර්ණ රූපවාහිනී සම්ප්‍රාප්ත වීම කලූ සුදු රූපවාහිනී තිබුනු අයගෙ හිතවල පොඩි හිතේ අමාරුවක් ඇති කරන්න සමත් වුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. හැබැයි මේ කාලෙම කලූ සුදු රූපවාහිනි වල තිරයට ඉදිරියෙන් හයි කරන්න වර්න ගන්වපු එක්ස් රේ කොල වගේ වර්ගයක් වෙලද පොලට ආව. ඒ වයින් එකක් ඉදිරියෙන් හයි කරාම ලා කහ පාට, කොල පාට හෝ රතු පාට පෙනුමක් රූප වලට ලැබුන.

ඔහොම කාලය ගතවෙද්දි එකදහස් නවසිය අසූ හතර දි විතර මන් හිතන්නෙ අපිට අපේ ජීවිත කාලෙ අහන්න ලැබුනු හොදම පනිවුඩ වලින් එකක් අහන්න වාසනාව ලැබුන. ඒ තමයි ගමට විදුලිය ලැඛෙන්න යනවයි කියන කාරනේ. මේ ආරංච්යත් එක්ක ගමේ මිනිස්සුන්ගෙ මූනු එළිය වැටෙන්න ගත්ත. හැබැයි මීට කලින් විදුලි එලියක් ගැන ලොකු අත්දැකීම් නොතිබුනු අපිට ඒක ඒ තරම්ම තේරුනේ  නැහැ.

වැඩි කාලයක් නොගිහින් ගමට විදුලිය ලබා දෙන්න කණු හිටුවල කම්බි අදින්න පටන් ගත්ත. ඒ දවස්වල කනු ඉන්දන්න ගමට ආපු කණු උස්සන දොඹකරය බලන්න අපිට තිබුනෙ පුදුම ආසාවක්. ඒ වෙන මොන නිසාවත් නෙවී මීට කලින් එහෙම දෙයක් ඇකල තිබුනෙ නැති නිසා. මේ දෙඹකරය පදවපු ඩ්‍රැයිවර් මහත්තය හැමතිස්සෙම හිටියෙ පයිලට් නෙකෙන් වගේ ආඩම්බරෙන්.

මේ අතරෙ ගමට විදුලිය ලබා දෙන දිනය ලං වෙන කොට ගමේ ගෙවල් එකින් එක  වයරින් කරන්න පටන් ගත්ත. මං හිතන්නෙ ඒ කාලේ වයරින් කරන කාර්මික ශිල්පියො හොයාගන්නත් ඒ තරම්ම ලෙහෙසි පහසු වුනේ නැහැ. අපේ ගෙදර ටික කාලෙකට පෙරම වයරින් කරල තිබුන නිසා අපිට ඒක ඒ තරම්ම ප්‍රශ්නයක් වුනේ නැහැ.

ගමේ විදුලිය විවෘත කරන දිනය තීරණය වුනාම ගමේ කස්ටිය මේක ටිකක් ලොකුවට කරන්න තීරණය කරල තිබුන. ඒ හින්ද මේ දවසට ගමේ සංගීත සංදර්ශයක් පවත්වන්න ලහි ලහියෙ කටයුතු සම්පාදනය වුනා. අපේ කඩේ සීය වගේම අද්දරවත්ත අයියත් මේකේ මූලිකයො වුනා. බෑන්ඩ් කණ්ඩායම වුනේ ඒ කාලෙ මාතර ප්‍රසිද්දම එක වුනු සුපර් බ්‍රෙක් වෝටර්ස් (මම හිතන්නෙ මේ නම හරි වෙන් ඇති කියල) කියන කණ්ඩායමයි.

ඉතින් අන්තිමේදි මේ ලයිට් දෙන දවස උදා වුනා. කවුරුත් කිව්වෙ ගමට ලයිට් දෙනවා කියලයි. විදුලි බලය ගැන මිනිස්සුන්ට දැනීමක් තිබුනෙ නැහැ. කාගෙත් හිතේ තිබුනෙ ගෙදර විදුලි බුබුලකින් ආලෝක කරන හීනය පමණයි. මේ දවසෙ දහවල් වෙනකොට ගෙවල් වලට විදුලි සම්බන්ධය දුන්නත් කාගෙනුත් ඉල්ලීමක් කරල තිබුන විදුලිය විවෘත කරන කල් ගෙවල් වල විදුලි එලි පත්තු කරන එපාය කියල. ගමේ මිනිස්සුත් මෙච්චර කාලයක් නොතිබුනු විදුලිය ලැඛෙන්න තව පැය කිහිපයක් බලා ඉදින්න අකමැති වුනේ නැහැ. කොහොම්න් කොහොම හරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අපේ ගමට විදුලි බලය ලැබුන. පලාතේ මන්තිරිතුමා ඇවිත් විදුලිය විවෘත කලාම ගමේ ගෙවල් එක දෙක එළිය වෙන්න ගත්ත. හැබැයි මුලූ ගමම එළිය වෙන්න තවත් අවුරුදු දහයකට වැඩි කාලයක් ගත වුනා.මේ ලගක් වෙනකනුත් අපේ ගමේ කොකු ලයිට් කාරයො කීප දෙනෙක්ම  හිටපු බවත් ඒ කවුරුදු කියල මගෙන් අහන්න එපා කියලත් අන්තිමට ලියල තියන්නම්.

ඉතින් අපි කොහොම හරි ලාම්පු එළියෙන් ඉපදිල විදුලි බලයට මාරු වෙන්න වාසනාව ලැබිච්ච පරම්පරාවෙ කොටස් කාරයො වෙන්න වාසනාවන්ත වුනා. එහෙම වාසනාවක් නොතිබුන හසරැල්ල වගේ උන් ලයිට් ගියපු ගමන් ෆේස් බුකියෙ ස්ටේටස් අප්ඩේට් කරන්නෙ ‘’ලයිට් නෑ කියල’’ අන්න ඒකයි.

ඉතින් ටී වී කථාව ඔතනින් ඉවර වුනේ නැහැ. කාලයක් යද්දි මේකෙ අරුම පුදුම වෙනස් කම් වෙන්න පටන් ගත්ත. වී එච් එච් චැනල් වෙනුවට යූ එච් එෆ් එන්න ගත්ත. ගෙදර තිබුනු එක ඇන්ටනාව දෙකක් වෙන්න ගත්ත. ඒ මදිවට බූස්ටරයක් කියල පෙට්ටයකුත් එල්ලන්න වුනා. ඒ ඔක්කොමත් හරි ටී එන් එල් කියල ලංකාවෙ අදටත් විශිෂ්ටතම රූපවාහිනී චැනලය පටන් ගත්ත. ඒක බලන්න නම් අලූතින් දිග ඇලූමිනියම් බලයක් ඩයපොල් එකට හයි කරන්න වුනා. එහෙම හයි කරන් ටී එන් එල් බලපු මිනිස්සු ටික කාලෙකින්ම ඒකෙ යන වැඩ සටහන් බලල සතුටට අර ඇලූමිනියම් බටේ කන්න පටන් ගත්ත. හැබැයි ටී එන් එල් අදටත් වැඩ.

අපේ ගෙදරටත් පහු කාලෙක වර්ණ රූප පෙට්ටියක් ගෙනාව 1995 විතර. ඒක අදටත් මගේ ගෙදර යහතින් වැඩ. විශේෂත්වය තියෙන්නෙ 1982 ගෙනාපු මුල්ම එකත් අදටත් සුපර් ස්ටාර්ල පෙන්න පෙන්න තාමත් වැඩ.

ඔන්න ඔහෙම එකින් එක වෙනස් වෙවී වෙවී රූප පෙට්ටිය අද තියෙන තැනට ඇවිල්ල තියෙනව. වුනේ එකම වෙනසයි  - රූපවාහිනිය  වටේ එකතු වෙලා ගමේ  කාගෙත් දුක සැප ඛෙදාගත්ත අපේ මිනිස්සු දැන් හවස් වෙද්දි ගෙවල්වල දොර ජනෙල් වහගෙන ඉන්දියාවෙ තුල්සිලගේ දුක සැප ඛෙදා ගන්න එක විතරයි.


පසු සටහන - වර්ණ රූපවාහිනී පැමිනියේ විදුලි බලය ලැබීමට පෙරද පසුදැයි මට නිච්චියක් නැත. තවද මට දිග ලිපි ලිවීමෙ හැකියාවක් නොමැති අතර, පාඨක ජනතාවට මගේ ලිපි කියවීම හැරුනු කොට වෙනත් වැදගත් වැඩ ඇති බවද මම දනිමි. ඒ කෙසේ වෙතත් දින 7ක ඇතුලත මගේ දුප්පත් බොලොගයට  ගොඩවැදුනු 1000 කට අධික වූ පාඨක ජනතාවට මාගේ ප්‍රණාමය.